Tuesday, March 25, 2014

නූපන් පුත නොම ඉපදෙනු


හිමිදිරියේ සවන වැකෙන
කුරුළු නදින් සිත පිනවපු
කඳු මුදුනට හිමින් ඇදෙන
මීදුමෙ සිසිලසද විඳපු
ගුමු ගුමු ගුමු බමර ගීත
තාලෙට කව් ගී පබැඳපු
සොඳුරු ලොවක් අහිමි නුඹට
තාත්ත මගෙ මට පෙන්නපු

වෙල් දෙනි පිට නියර පුරා
කොරවක්කන් පස්සෙ දුවපු
වක්කඩ ළඟ තාලයකට
තිත්ත පැටව් සමග නටපු
කමත වටේ බැත පාගන
අම්බරුවන් ටික දක්කපු
සොඳුරු ලොවක් අහිමි නුඹට
තාත්ත මගෙ මට පෙන්නපු

සිරිපා ගිය සමනළුන්ගෙ
පස්සෙන් පාසලට ගියපු
සවස ඇවිත් මිතුරන් හා
ඇල දොළ දියබුන් ගසාපු
ලේන පැටව් මුව පැටවුන්
අල්ලන්නට වෙර දරාපු
සොඳුරු ලොවක් අහිමි නුඹට
තාත්ත මගෙ මට පෙන්නපු

බොන්න තියෙන පැන් පොදටද
නෙක වස විස මුසු කරාපු
හුස්ම පිඹල ජීවය දුන්
ගහකොල උදුරල දමාපු
කපා වනය නසා සතා
මස්කඩයක් වෙත දක්වපු
ලොවක් නුඹට දෙන්න ඇත්තෙ
නූපන් පුත නොම ඉපදෙනු


Thursday, March 13, 2014

මිත්තනියේ



අවසානයේ ලෝකය
වසින බව මහ වැස්සක්
තෙමුනවිට එහි දියට
පෙනෙන බව තිරිසනුන් සේ මිනිසුන්
කුඩා කල මා තුරුළු කර
ඔබ පැවසූ එවදන්
සැබෑවී අද දින තෙමී ඇත අප සියල්ලන්
මිත්තනියේ


Monday, February 10, 2014

පුන්චි පුතේ නුඹෙ සිනාව

පුන්චි පුතේ නුඹෙ සිනාව

සුදෝ සුදට සුදු මීදුම
පාවී යන උදෑසනක
සවන වැකුණු විහඟ ගීත
කර්කශ බව මට හඟුනේ
ඇසුන පසුය නුඹෙ සිනාව

මලින් මලට පියඹා යන
බමර තුඩින් උන් පවසන
ගුමු ගුමු ගුමු පෙම් ගීතෙට
මා කල පෙම නතර කලේ
පුතේ නුඹේ කිරි සිනාව

සුන්දර කඳු වැටි මුදුනක
සිට පෙණ පිඬු විසුරුවමින්
ඇද හැලෙනා දිය දහරක
හඬ ගීයක් නොම වන බව
මට කීවෙ නුඹෙ සිනාව

ඉර බැස යන හැන්දෑවක
රැළි පිට රැළි පෙරළී ඇවිත්
වෙරළෙ හැපී නගනා හඬ
ඝෝෂාවක් පමණිය මට
ඇසෙනා කල නුඹෙ සිනාව