Tuesday, March 25, 2014

නූපන් පුත නොම ඉපදෙනු


හිමිදිරියේ සවන වැකෙන
කුරුළු නදින් සිත පිනවපු
කඳු මුදුනට හිමින් ඇදෙන
මීදුමෙ සිසිලසද විඳපු
ගුමු ගුමු ගුමු බමර ගීත
තාලෙට කව් ගී පබැඳපු
සොඳුරු ලොවක් අහිමි නුඹට
තාත්ත මගෙ මට පෙන්නපු

වෙල් දෙනි පිට නියර පුරා
කොරවක්කන් පස්සෙ දුවපු
වක්කඩ ළඟ තාලයකට
තිත්ත පැටව් සමග නටපු
කමත වටේ බැත පාගන
අම්බරුවන් ටික දක්කපු
සොඳුරු ලොවක් අහිමි නුඹට
තාත්ත මගෙ මට පෙන්නපු

සිරිපා ගිය සමනළුන්ගෙ
පස්සෙන් පාසලට ගියපු
සවස ඇවිත් මිතුරන් හා
ඇල දොළ දියබුන් ගසාපු
ලේන පැටව් මුව පැටවුන්
අල්ලන්නට වෙර දරාපු
සොඳුරු ලොවක් අහිමි නුඹට
තාත්ත මගෙ මට පෙන්නපු

බොන්න තියෙන පැන් පොදටද
නෙක වස විස මුසු කරාපු
හුස්ම පිඹල ජීවය දුන්
ගහකොල උදුරල දමාපු
කපා වනය නසා සතා
මස්කඩයක් වෙත දක්වපු
ලොවක් නුඹට දෙන්න ඇත්තෙ
නූපන් පුත නොම ඉපදෙනු


No comments:

Post a Comment